රාවණා මෘත දේහය ඇතැයි සැළකෙන කොත්මලයේ පිහිටි කරනගල කන්ද (දෙවන කොටස)

මීට වසරකට පමණ ඉහත අපගේ මේ බ්ලොග් අඩවිය හරහා කොත්මලේ පිහිටි පෙට්ටිගල ගැන යම් පමණක තොරතුරු ඔබ වෙත අනාවරණය කලෙමු. රාවණ රජතුමාගේ මෘත දේහය ඇතැයි සැළකෙන මෙහි තවත් ඡායාරූප කිහිපයක් ඔබ වෙතට ඉදිරිපත් කිරීමට දැන් කාලය එළැඹ ඇත.


ඉහත ලින්ක් එක මගින් මෙහි පළමු කොටස ඔබට කියවීමට හැක.

හෙළයේ ශ්‍රේෂ්ඨ රජෙකු වූ දසිස් රාවණයන්ගේ රහසිගත බලකොටුවක් පැවතියා යැයි සැළකෙන කොත්මලේ ප්‍රදේශයේ, රාවණ නිරිඳුන් සම්භන්ධ ජන ප්‍රවාද රැසකි. කොත්මලේ රාවණාගොඩ ප්‍රදේශය ආසන්නයේ රාවණා රජු සම්භන්ධ ජන ප්‍රවාද රැසකට මුල් වූ අපූරු කන්දක් ඇත. ඉසුරුමුණියේ ඇති තරු සිතියමේ එක් රූපයක්, මෙකී කන්දේ හරස්කඩට බෙහෙවින් සමානය. ගුප්ත බව රජයන, දිවියන් ආදී වන සතුන්ගෙන් ගහණ මෙම කන්ද, කරනගල කන්ද වේ.  අදටත් සුරැකිව පවතිනවා යැයි ජනවහරේ කියැවෙන රාවණ රජුගේ දේහය, කොත්මලේ රාවණාගොඩ ප්‍රදේශයේ කරනගල කන්දේ ඇති පෙට්ටිගල නම් ගල් පර්වතය අභ්‍යන්තරයේ සුරැකිව පවතින බව, කඳු පාමුල ජීවත් වන දමිළ ජනයා තදින් විශ්වාස කරන්නකි.

                         ඉසුරුමුණියේ ඇති තරු සිතියමේ පිටපතක්


                                           කරනගල කන්ද


                                        පෙට්ටිගල පර්වතය

දිවියන්, වළසුන් ආදී සතුන්ගෙන් ගහණ වූ මෙම කරනගල කන්දේ අදටත් මිනිස් පා පහසක් ලබන්නේ ඉතා කලාතුරකින්ය. රූස්ස ඝණ කැළෑවකින් යුතු කරනගල කන්දට මිනිසුන් ඇතුළු නොවන්නේ වන සතුන් පමණක් නිසාම නොවේ. අතීතයේ සිට මෙම කන්ද තම බල ප්‍රදේශය ලෙස පවත්වාගෙන යන වලි යකුන් ලෙස හඳුන්වන වැදි ගෝත්‍රික ජනතාවට ඇති බියත්, කරනගල කන්දට මිනිසුන් ඇතුළු වීම වලක්වාලයි. ඇතැම් පිරිසක් මෙකී වලි යකුන් මිත්‍යාවක් ලෙස සලකා අවඥාවෙන් බැහැර කල ද, වලි යකුන් දුටු මිනිසුන් ද මෙම කන්ද අවට ග්‍රාමයන් හි සැරිසැරූ විට දී හමු වෙයි. සතුන් දඩයමෙන් ජීවනෝපාය කරගත් එක්තරා පුද්ගලයෙකු වරක් කරනගල කන්දේ දී වලි යකුන් දුටු බවත්, ඔවුන්ගේ රුදුරු විලාසයට බිය පත් වීම නිසා එතැන් සිට කවමදාක වත් කරනගල කන්දට ගොඩ නොවූ බවත්, දඩයම් වෘත්තිය අතහැර ගොවිතැනට යොමු වූ බවත් කරනගල කන්ද පාමුල වෙසෙන ගැමියෝ පවසයි.

කරනගල කන්දේ මුදුනට ආසන්නයේ ඇති සුවිශේෂී හැඩයකින් යුතු පර්වතයක් ඇත. හතරැස් පෙනුමකින් යුතු එම පර්වතයට පෙට්ටිගල යන නම ලැබී ඇත. පර්වතයේ එක් පසෙක ජනේලයකි. එය පේරු හි ඇති තරු දොරටුවට සමාන ලක්ෂණ පෙන්නුම් කරන්නකි. අනෙක් පස පහළට වන්නට අති විශාල ගල් දොරකි. පෙර ලිපියෙන් පැවසූ පරිදි 2011.09.24 දින චානක චතුරංග සොහොයුරා, තවත් පාසල් ළමුන් කිහිපදෙනෙකු සමඟ පෙට්ටිගල ආසන්නයටම ගොස් ඡායාරූප කිහිපයක් ලබා ගෙන ඇත. 


                           පෙට්ටිගලෙහි ඇති දැවැන්ත ජනේලය

ඉහත ඡායාරූපයේ රවුම් කර දක්වා ඇත්තේ පෙට්ටිගල පර්වතයේ ඇති දැවැන්ත ජනේලයයි. එයට පහලින් හඳුනානොගත් අක්ෂර කිහිපයක් සටහන් කර ඇත. පෙර ලිපියේ සඳහන් කල එම ප්‍රදේශයේ සිටින පේන කියනා වයෝවෘද දමිළ කාන්තාව තවදුරටත් පවසා ඇත්තේ, සතියට දෙවරක් විවෘත වෙන මෙම ජනේලයෙන් යම් අවතාරයක් එලියට පැමිණෙන බවත්, එම අවතාරය කන්දේ සැරිසරා විශේෂිත බෙහෙත් පැළෑටි කිහිපයක් රැගෙන ජනේලයෙන් පර්වතයට ඇතුල් වන බවත්ය. එම බෙහෙත් පැළෑටි උපයෝගී කරගෙන නිර්මාණය කරනා යම් ඖෂධයක් මගින් පර්වතය තුල ඇති දේහයන් දෙක නරක් නොවී රැක බලා ගන්නා බව එම දමිළ කාන්තාව පවසා ඇත. තව දුරටත් ඒ ගැන විස්තර කරමින් එම කාන්තාව පැවසූයේ එම අවතාරයේ වගකීම රාවණා රජුගේ ශ්‍රී දේහය සහ අනෙක් දේහය රැක බලා ගැනීම බවත්. පැමිණිය යුතු පුද්ගලයා පැමිණෙන තෙක් පෙට්ටිගල ආරක්ෂා කිරීම බවත්ය. තවමත් භාවනායෝගීව සිටින එම තැනැත්තා මෙම කාල සීමාව තුල පෙට්ටිගලට පැමිණිය යුතු අතර, එසේ පැමිණ  ජනේලය අසල ඇති අක්ෂර ශබ්ද නගා පැවසූ විට පර්වතයේ දැවැන්ත ගල් දොර විවෘත වන බවත්, එතුලින් පර්වත අභ්‍යන්තරයට පිවිස ඇතුලත ඇති බෙහෙත් මංජුසාව රැගෙන මෘත ශරීර මත ගල්වා රාවණ ආකර්ෂණ මන්ත්‍රය ජප කල යුතුය. එවිට වියැලුන සම මතින් අළුතින් සම වර්ධනය වී දේහයන් දෙකට පණ ලැබෙන බවත් එම වයෝවෘද කාන්තාව පවසයි. කෙසේ වුවත් මේ කාල සීමාව තුල එම පුද්ගලයා නොපැමිණිය හොත්, කරනගල කන්ද දැඩිව නාය යෑමකට ලක්ව මේ සියළු දෑ විනාශයට පත්වන බවටත් එම කාන්තාව අනතුරු අඟවයි.


            රවුමින් දක්වා ඇත්තේ පර්වතයේ ඇති සුවිසල් ගල් දොරයි

මීට දශක කිහිපයකට පෙර ප්‍රදේශයේ ජීවත් වූ දමිළ තරුණයන් කිහිපදෙනෙකු කරනගල කන්ද තරණය කර පෙට්ටිගල වෙත ලඟා වී ඇත. රාත්‍රී කිහිපයක් සෝදිසියෙන් සිට ඇති ඔවුන් එක් මධ්‍යම රාත්‍රියක ජනේලය විවෘත වී අවතාරය එළියට ගිය පසු පර්වත අභ්‍යන්තරයට පිවිස ඇත. එතැන් සිට අදටත් එම ද්‍රවිඩ තරුණයන් පිළිබඳ කිසිදු හෝඩුවාවක් ලැබී නැත.

ජනප්‍රවාද රැසකට මුල් වූ හා අද්භූත සිදුවීම් ගණනාවකට හේතු කාරණා වූ කරනගල කන්දේ ඇති පෙට්ටිගල පර්වතය ගැන ඇති ඉතිහාස කරුණු ගවේශණයකට ඔබටත් ආරාධනා..

ක්‍රිෂාන් වීරසිංහ.

(විශේෂ ස්තූතිය - පෙට්ටිගල පර්වතය ගවේශණය කර තොරතුරු හා ඡායාරූප අප වෙත ලබා දුන් චානක දේව් චතුරංග සොහොයුරාට)

Share on Google Plus

About Helasura

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

2 comments:

  1. අපිත් කැමතියි ඔබත් සමග ඒකතු වන්න

    ReplyDelete